නිමන්ති රණසිංහ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින ලද නාවික හමුදා නිලධාරින් සම්බන්ධයෙන් වාර්තා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නොමැති බව නාවික හමුදාපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළේය.
මොහොමඩ් වසිම් තාජුදින්ගේ ඝාතන සිද්ධියට අදාළ කැඳවු අවස්ථාවේ දී නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා මෙම කරුණු අධිකරණයට අනාවරණය කළේය.
එසේම නාවික හමුදාපතිවරයාගෙන් අදාළ වාර්තා නොලැබීම නඩුවේ විමර්ශන කටයුතු ප්‍රමාදයට හේතුවක් බැවින් ඒ සඳහා ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් වාර්තා කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා නීතිපතිට නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව ඇප සිටින නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික,හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක,හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර යන අය අධිකරණයේ පෙනී සිටියහ.

