(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කිසිඳු තොරතුරක් තමන් දැන නොසිටි බවට බෞද්ධයෙක් ලෙස බුදුන් වහන්සේගේ දෙපා නැමද හෝ ඕනෑම තැනක කුරුසියේ අතගසා කිව හැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ ගැන තොරතුරක් සිටියේ නම් තමන් එවැනි විනාශයක්වීමට ඉඩනොදෙන බවත්, එවැනි තොරතුරක් ගැන බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ තමා දැනුවත් කළේ නම් කිසිදු හේතුවක් මත තමා රටින් පිටව නොයන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ පොළොන්නරුව නගරයේ පිහිටි නිර්මල දේවමාතා කිතුණු දේවස්ථානයේ නව දේව මන්දිරය ඉදිකිරීම සඳහා දායකවූවන්ට ආශීර්වාද කිරීම සඳහා එම දේවස්ථානයේදී පැවති ආශීර්වාද පූජාවකට එක්වෙමිනි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ද ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියෙන් ඒ සඳහා ආධාර ලබාදී තිබිණි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී තමා විදෙස්ගත වූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සිංගප්පූරුවට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බව ද පැවසීය.
තමන් රෝහලේ සිටියදීත් මේ ගැන දැනුවත් කර ඇති බවට මාධ්‍ය සහ ඇතැම් අය චෝදනා කළත් තමන් ප්‍රතිකාර ලැබූ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ රෝගීන් අසලට දුරකතන රැගෙනයාමේ හැකියාවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ ගැන තමා විසින්ම පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ද ප්‍රකාශ කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
ප්‍රහාරයක් එල්ල වන බවට සිංගප්පූරුවේ සිටියදී හෝ ආරක්ෂක අංශ තමා දැනුවත් කළේ නම් වහාම ආරක්ෂක අංශවලට උපදෙස් දී ක්‍රියාමාර්ග ගන්නා බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

