හිටපු ජනපති නොපැමිණීමෙන් උත්සවයේ විරෝධතාවක්


අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර

 

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු වු පරිදි නොපැමිණීම නිසා ඇඹිලිපිටිය හීන් දලූක්හින්න නාග විහාරස්ථානයේ සංවිධානය කර තිබූ බුද්ධ ප‍්‍රතිමා නිරාවරණය කිරීමේ උත්සව සංවිධායකයන් දෙදෙනකු ඒ අසල තිබූ කොහොඹ ගසක නැග විරෝධය පෑමත් සමඟ ඇතිවූ නොසන්සුන්තාව නිසා උත්සවය කල් දමනු ලැබීය.

ආරාධනා මත පැමිණ සිටි හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා ද පසුව හිස් අතින්ම ආපසු ගියේය. සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න සහ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ යන මහත්වරු තමන්ගේ මුදලින් ඉදිරි දිනයක උත්සවයක් පවත්වා මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන්වාදීමට ද පොරොන්දු විය.

දඹදිවින් වැඩම කළ ශ‍්‍රී මහා බෝධි අංකුරයක් මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ද, අනුරාධපුර ශ‍්‍රී මහා බෝධි අංකුරයක් චමල් රාජපක්‍ෂ මහතා අතින් ද මෙහිදී රෝපණය කිරිමට නියමිතව තිබුණ ද ඒවා ද අවලංගු කෙරිණි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් පෙර දිනයේ පැමිණ උත්සවයේ ආරක්‍ෂක කටයුතු වලට උපදෙස් ද දුන්හ. මහජනයා පරීක්‍ෂා කිරිමට අවශ්‍ය ස්ථාන වැටවල් ආදිය නිමවුණේ පැමිණ සිටි එම ආරක්‍ෂක ප‍්‍රධානීන්ගේ උපදෙස් මතය.

එහෙත් ඊයේ (28) අලූයම 02.30ට පමණ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂකයින් පිටව ගියේ පාන්දර 06.30 වනවිට නැවත පැමිණෙන බව දන්වමිනි. නමුත් ඔවුහු නොපැමිණියහ.

උත්සවය වෙලාවේ චමල් රාජපක්‍ෂ මහතා පමණක් පැමිණියේය. කොන්දේ අමාරුවක් නිසා මහින්ද රාජපක්‍ෂ මහතා නොඑන බව සැල කෙරුණි. සංවිධායකයන් අතර කුකුසුව වර්ධනය විය.

මහින්ද රාජපක්‍ෂ මහතා නොඑන්නේ නම් බුද්ධ ප‍්‍රතිමාව නිරාවරණයත්, ශ‍්‍රී මහා බෝධි අංකුර රෝපණයත් විහාරාධිපති පිටිගල චන්දවිමල හිමියන් කළ යුතු යැයි කලබල අස්සේ එතැන තිබූ කොහොඹ ගසකට නැගී සංවිධායක මණ්ඩලයේ ඩබ්. අජිත් කුමාර සහ එස්.පී.චානක රොෂාන් කියන්නට වූහ.

මහින්ද රාජපක්‍ෂ මහතා නොපැමිණියේ කොන්දේ අමාරුවක් නිසා නොව දේශපාලන කුමන්ත‍්‍රණයක් නිසා යැයි සංවිධායකන් හිටපු රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතාට චෝදනා කරන්නට විය. ඔහුට දුරකතනයෙන් කතා කරන්නට ගත් උත්සාහය ද ව්‍යාර්ථ විය. කලබලකාරිත්වය එන්න එන්නම වැඩිය.

එවිටම සනී රෝහණ කොඩිතුවක්කු මහතා උත්සව භූමියට පැමිණියේය. ඔහුට එල්ල කළ චෝදනා ප‍්‍රතික්‍ෂේප කළේය. තමන් පැමිණියේ තමන්ට ද ආරාධනා කළ නිසා යැයි ඔහු කීවේ ය. අවසානයේ දී උත්සවය අවලංගු කරන්නට සංවිධායකයෝ තීරණය කළහ.

වෙනත් දිනයක පවත්වමු යැයි කංචන ජයරත්න සහ සුරන්ත වීරසිංහ යන මහත්වරු කළ යෝජනාව ගැන සංවිධායකයන් කීවේ නැවත උත්සවයකට වියදම් කරන්නට තමන් සතුව මුදල් නැති බවයි. ඒ සඳහා වැයවන මුදල දෙන්නට කංචන ජයරත්න සහ සුරන්ත වීරසිංහ යන මහත්වරු පොරොන්දු විය.

ඒ අනුව උත්සවය අවලංගු කර ආරාධිත අමුත්තෝ හිස් අතින් ම ආපසු ගියහ.