කොටි සංවිධානයේ හිටපු නායකයෙකු යැයි පැවසෙන ආත්මලිංගම් රවින්ද්‍රන් හෙවත් රූපන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් ලබන අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දියාවේ පළවන නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය අද (29) වාර්තා කළේය.
මේවන විටත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට ඉල්ලූම් පත්‍රයක් ලබා දී ඇති බවද එහි සඳහන් වේ.
ඔහු 1985 සිට 2009 දක්වා කාලයේ කොටි සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අයෙකු බැව් පැවසේ.
සිය ඉල්ලූම් පත්‍රය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා වෙත ලබා දී ඇති රූපන් එහි සිය අතීතයේ සිද්ධීන් ද සඳහන් කර ඇතැයි වාර්තා වේ.
ඔහු පසුගිය යුද ගැටුම් පැවති අවධියේදී 1987 ඉන්දු ලංකා ගිවිසුම යටතේ කොටි සංවිධානය විසින් පිහිට වූ උතුරු නැගෙනහිර අතුරු කමිටුවේ සාමාජිකයෙකු ලෙසින්ද, රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ගේ සමයේ පැවති සාම සාකච්ඡා වලදී එල්.ටී.ටී.ඊ. සංවිධානය නියෝජනය කළ අයෙකු ලෙස ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළේය.

