කොටි කාන්තා අංශයේ හිටපු නායිකාව වූ තමිලිනී නොහොත් සුබ්‍රමනියම් ශිවගාමීගේ මෘත දේහය ඉරිදා (18) සවස කිලිනොච්චිය පරන්තන් නිවසට රැගෙන එනු ලැබීය.
පසුගිය මැයි මස 15 වැනිදා ඇය මහරගම පිළිකා රෝහලට ඇතුළත් කර ඉන් අනතුරුව විකිරණ ප්‍රතිකාර ලබා දුන්නද මිය ගියාය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ඇතුළු දේශපාලඥයෝද, ප්‍රදේශවාසීහුද ඇගේ දේහයට අවසන් බුහුමන් දැක්වූහ.
තමිලිනී නොහොත් සුබ්‍රමණියම් ශිවගාමි 1972 වසරේ පරන්තන් හි උපත ලබා කොටි සංවිධානයට බැඳී ඇත්තේ 1986 වසරේදීය. ඒ වනවිට ඇය 14 වන වියේ පසුවූවාය.
තමිලිනී වවුනියාව සරණාගත කඳවුරක රැඳී සිටියදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2009 වසරේ මැයි මස 20 වැනිදාය. යුද්ධයෙන් පසු අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨම එල්.ටී.ටී.ඊ. නායිකාව වන තමිලිනී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ‘කර්නල්‘වරියකද වූවාය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර වසරක කාලයක් පුනරුත්ථාපනය සඳහා යොදවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. පසුව යුද හමුදාව යටතේ පූන්තෝට්ටම් කඳවුරේ පුනරුත්ථාපනය ලැබූ තමිලිනී 2013 වසරේ මැයි මස 26 වැනි දා දෙමව්පියන් වෙත භාරදෙනු ලැබීය.
තමිලිනී පසුව විවාහ වී ඇති අතර, රෝහල් ගතකළ පසු ඇගේ මව තමිලිනීගේ සත්කාර කටයුතුවල නිරතව සිටියාය. තමිලිනීට සොහොයුරියන් දෙදෙනෙකු සිට ඇති අතර, එක් සොහොයුරියක එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයට බැඳී සටන් බිමේදී මිය ගියාය.



