හිටපු ඇමැති රෝහිතට එරෙහි නඩුවේ විභාගය අගෝස්තු 03 වැනිදා


(මනෝප‍්‍රිය ගුණසේකර)


සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු  වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන අගොස්තු 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද  (14)  තීරණය කළේය.


මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී රෝහිත අබේගුණවර්ධන මහතාට පාර්ලිමෙන්තුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවීමට අවශ්‍ය බව පවසමින් නීතීඥ නිරෝෂණ සිරිවර්ධන මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.


2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම් වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.


මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීඥ නිරෝෂණ සිරිවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට පාර්ලිමෙන්තුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවීමට අවශ්‍ය හෙයින් නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.


එම ඉල්ලීම පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන අගොස්තු 03 වැනිදා දක්වා කල් තැබීමට නියම කළේය.


පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් එස්.අයි. ජයසිංහ මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශනද ද සිල්වා මහතා පෙනී සිටියේය.


විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා  ඇතුළු  නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.