හිටපු අගවිනිසුරුට එරෙහි ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම 7 වැනිදා


 

(තිළිණි ද සිල්වා)

 

මහජන රැස්වීමකදී සහ මාධ්‍යයට අදහස් දැක්වීමකින් අධිකරණයට අපහාස කර  ඇතැයි කියමින් හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතාට එරෙහිව  කළ පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන 07 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියම කළේය.
 
අධිකරණය හමුවේ වැඩිදුර කරුණු තහවුරු කිරීම පෙත්සම්කාර සහ විත්තිකාර පාර්ශවය විසින් සිදු කරනු ලබයි.
 
අධිකරණයට අපහාස කර ඇතැයි කියමින්   හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව චන්ද්‍රගුප්ත තේනුවර ,හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරු තිදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  අද කැඳවනු ලැබුණි.

එහිදී පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම මෙදිනට කල් තැබිණි

මෙම පෙත්සම අද විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරේරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

එහිදී වගඋත්තරකාර හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මෙම නඩුව විභාගයට ගැනීම සඳහා සූදානම් බවය.

කෙසේ වෙතත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පෙන්වා දුන්නේ මෙම චෝදනා විභාග කිරීම සඳහා නීතිපතිවරයාගේ සහාය ද ලබා ගැනීම බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල ලබන මස 7 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකුටද අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි ද දැන්වීය.

ඉකුත්  ඔක්තෝම්බර් මස 18 වනදා කොළඹ පැවති මහජන රැලියකදී අදහස් දැක්වූ හිටපු  සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සමින් පෙන්වා දේ

ඔහු අධිකරණයට අපහාසයක් සිදු කරන බවට තීන්දු කොට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.