මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
පළාත් සභා මැතිවරණ සංශෝධන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරන ලෙස නීතීපතිවරයා ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳ තීන්දුව පසුව ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (06) දැනුම් දුන්නේය.
පෙත්සමක් ගොනු කරන මුල් අවස්ථාවේදීම කරුණු නොසඟවා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව සඳහන් වී ඇතැත් හිටපු අගවිනිසුරුවරයා මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයට හෙළි කළ යුතු කරුණු මුල් අවස්ථාවේදීම හෙළි කොට නැතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පැවසීය. මේ තත්වය තුළ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරන්නැයි ඉල්ලා මුලික විරෝධතා ඉදිරිපත් කොට ඇත.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳන ලදී.
මෙම පණත සම්බන්ධයෙන් සැප්තැම්බර් 20 වැනිදා කතානායකවරයාගේ සහතික කිරීම පෙත්සම්කරු හෙළි කොට නොමැති බවත්, පාර්ලිමෙන්තුවේ සම්මත වු පණතක් මුලික අයිතිවාසිකම් පෙත්සමක් මඟින් අභියෝගයට ලක් කිරීමට නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පෙන්වා දුන්නේය.
මැදිහත්කාර පාර්ශ්වකරුවෙකු වු නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමෙන්තුවේ කටයුතු වලට මැදිහත් වීමට අධිකරණයට හැකියාවක් නැති බවට සරත් සිල්වා මහතා අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරද්දී තීන්දුවක් ලබා දී ඇතැයි පෙන්වා දෙමින් එම තීන්දුව අධිකරණයට ඉදිරිපත් කළේය.
අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෙන්දක අබේසේකර මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙය පාර්ලිමෙන්තු ක්‍රියාවලියට අයත් බැවින් ඊට මැදිහත්වීමට අධිකරණයට බලයක් නැතැයි පැවසීය.
නීතීඥ රජිත කොඩිතුවක්කු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සම වභාගයට ගැනීමට මෙම උසාවියට බලයක් නැතැයි දැනුම් දුන්නේය.
පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා සහ නීතීඥ සුරේෂ් ප්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කළහ.
පෙත්සම ඉදිරිපත් කළ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා තම පෙත්සම වෙනුවෙන් නීතීඥ මඩුල්ලක් සමඟ පෙනී සිටියේය.

