හිටපු අගවිනිසුරු ශ්‍රී පවන්ගෙන් ජනපති කොමිසමට ලිඛිත ප්‍රකාශයක්


(තිළිණි ද සිල්වා)

2015 ‐ 2018 දක්වා කාලයේ සිදුව ඇතැයි කියන වත්මන් රජයේ ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලිඛිත ප‍්‍රකාශයක් ලබාදෙන බව හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා අද (26) එම කොමිසමට දන්වා ඇත.

මෙම දැනුම්දීමත් සමඟ ජනාධිපති කොමිසම මහපොළ අරමුදල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා සිද්ධීන් සම්බන්ධයෙන් ගොනුව ඇති පැමිණිල්ලට අදාළව අද (26) හිටපු අගවිනිසුරුවරයාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර නොගත් බව එහි ප‍්‍රකාශකයකු  පැවසීය.

එම කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද (26) පෙරවරු 08.30ට පමණ හිටපු අගවිනිසුරුවරයාගේ වැල්ලවත්තේ පිහිටි නිවසට ගොස් ප‍්‍රකාශ ලබා ගැනීම නියමිතව තිබූ අතර හිටපු අගවිනිසුරුවරයා ජනාධිපති කොමිසමේ රාජකාරී කටයුතුවල නිරත රජයේ නීතීඥවරයාට දුරකථන පණිවිඩ ලබා දෙමින් පවසා ඇත්තේ කොමිසමේ ප‍්‍රශ්න වලට ලිඛිත පිළිතුරු ලබා දෙන බවයි.

2015 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළ  මහපොළ බාරකාර අරමුදලේ සිදුව ඇතැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

එම කාලයේදී මහපොළ භාරකාර අරමුදල යටතේ පැවති මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ හිමිකාරිත්වය පෞද්ගලික කමිටුවකට පැවරීම හරහා එහි අරමුදල් පෞද්ගලික බැංකුවක් වෙත යොමු කිරිමෙන් මුල්‍ය අක‍්‍රමිකතාවක් සිදුව ඇතැයි අදාළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් පත්වන්නේ ඒ ඒ කාලය තුළ ධුරය දරන අගවිනිසුරුවරයාය. ඒ අනුව ශ්‍රී පවන් මහතා එම කාලය තුළ එම ධූරයේ කටයුතු කළේය.