හිඟ ඖෂධ මොනවාදැයි ඉක්මනට කියන්න


(අංජුල මහික වීරරත්න)

ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග  සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය අද (25) දැනුම් දුන්නේය.

ඖෂධ හිඟය සඳහා කෙටිකාලීන සහ මධ්‍යකාලීන විසදුම් පිළිබඳව සකාච්ජා කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය දී පැවැති  සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුනු ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක වටිනා ඖෂධ සඳහා  ලංකා  රුපියල්   වලින් ගෙවීමට එකඟතාවයට පැමිණි බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් හිඟය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ලංකාව අතර සිදු කෙරුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාවයට පැමිණි බවද වික්‍රමසිංහ මහතා කීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූයේ ප්‍රංශ රජය විසින් ලබා දීමට නියමිත ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගය නිසා දිවයිනේ සියලුම හදිසි ශල්‍යාගාර දින 90 කාලයක්  අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවයි.මෙම ආධාර තොගය හෙට (26) දිනයේ දී ලැබීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.