(බිඟුන් මේනක ගමගේ)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ පරිගණක පද්ධතිය බිදවැටීම හේතුවෙන් එක්දින ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අක්‍රිය වීමෙන් පසුව එම සංගමය අදාළ වෙබ් අඩවිය පිළිබඳ කළ විමර්ශනයකින් පසුව හෙළි වූ කරුණු මත මෙම ඉල්ලීම කර ඇත.
වෙබ් අඩවියට අදාළව උපස්ථ පරිගණක පද්ධතියක් (Backup system) පවත්වාගෙන යාමට කටයුතු නොකිරීම ඊට මූලිකව බලපා ඇති බව එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා පවසයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවිය (www.drp.gov.lk) යල්පැනගිය වෙබ් අඩවියක් බවට හදුනාගැනීමට හැකි වූ බවත් මෙම වෙබ් අඩවිය සතුව SSL Encryption ආරක්ෂණ සහතිකය නොහොත් (HTTPS) නොමැති නිසා මෙම වෙබ් අඩවියට පිවිසෙන පුද්ගලයන්ගේ දත්ත හැකර් ග්‍රහණයට නතුකර ගැනීමට ලෙහෙසියෙන්ම හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
තවද මෙම වෙබ් අඩවිය නිර්මාණය කළ පුද්ගලයා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ යොමුවක් (Link) එම වෙබ් අඩවියේ පහළ සඳහන් කිරීම පිළිබඳව ගැටලුවක් පැනනැගෙන බවත් රාජ්‍ය දෙපාර්තුමේන්තුවට අයත් වෙබ් අඩවියක් තම පෞද්ගලික ව්‍යාපාර කටයුතු සඳහා යොදාගැනීම රාජ්‍ය දේපල අවභාවිතය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටින බව එහි සඳහන් වේ.
පරිගණක පද්ධතිවල බිඳවැටීම් හමුවේ වුවද මහජනතාවට අඛණ්ඩව සේවය සැපයීම සඳහා සියලු රාජ්‍ය ආයතනවල උපස්ථ පරිගණක පද්ධතියක් (Backup System) පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

