හැටන් ලංගම ඩිපෝවේ හතරක් රිමාන්ඩ්


(රංජිත් රාජපක්‍ෂ )

හැටන් ලංගම ඩිපෝවේ කළමනාකාරවරයාට බැන තර්ජනය කිරිමේ චෝදනාව යටතේ හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් වු ලංගම ඩිපෝවේ සේවකයින් සිව්දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ටි.සරවානරාජා මහතා අද (15) නියෝග කළේය.

සැකකරුවන් පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් විමත් සමග එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වන එම ඩිපෝවේ කළමානාකාරවරයා ඩිපෝ පරික්‍ෂකවරයා සහ කොන්දොස්තරවරුන් කිහිපදෙනකුට එම තනතුරුවලින් ඉවත් වන ලෙසට බලපැම් කරමින් ඩිපෝ පරික්‍ෂකවරයාට බැන තිබිණි.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජායාරූප බස් රථවල අලවා එම ඩිපෝවේ පරිපාලන කටයුතු සම්පුර්ණයෙන්ම සැකකරුවන් අතට ගෙන දින කිහිපයක් එම ලංගම ඩිපොවේ පරිපාලන කටයුතු සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් එම ඩිපෝවේ කළමනාකාර අනුර දොඩම්තැන්න මහතා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබුණි.

මෙහිදි විවෘත අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ පරිපාලන කටයුතුවලට සේවකයන් ඇගිලි ගැසීමේදී ආයතනයක් පවත්වාගෙන යැම ගැටලූ සහගත බවයි.

එම ඩිපෝවේ කළමනකාරවරයාට දුරකථන ඔස්සේ තර්ජනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරිමට එම දුරකථන සමාගමින් අවශ්‍ය දත්ත ලබා ගැනිමට නියෝගයක් නිකුත් කරන ලෙසටද හැටන් පොලිසිය කළ ඉල්ලීමකට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.