හැටන් මහජන වැසිකිළියේ මලඅපද්‍රව්‍ය නගරයේ කානු පද්ධතියට


( ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)


හැටන් නගර සභාව කිසිදු වගකීමකින් තොරව ජනතාව වසංගත රෝගීන් කිරිමට විෂබීජ පතුරවන බවත්, ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියද නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත් ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. 


සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නට සිටි දින රාත්‍රියේද සුපුරුදු පරිදිම හැටන් දික්ඔය නගර සභාවට අයත් හැටන් නගර මධ්‍යයේ පිහිටි “තරු චතුරශ්‍ර” පරිශ්‍රයේ ඇති මහජන වැසිකිළියේ අපද්‍රව්‍ය ඒකරාශි වන ටැංකියෙන් යන්ත්‍රයක් මගින් මළ අපද්‍රව්‍ය ඉවත් කර හැටන් නගරයෙන් ගලා බසින ප්‍රධාන කාණු පද්ධතියට මුදා හැරිම සිදු කළේය. 


මෙම අපද්‍රව්‍ය එම කාණු පද්ධතිය ඔස්සේ දික්ඔයේ ජලය සමගින් කාසල්රි ජලාශයටද මිශ්‍ර වන අතර පරිසරය පුරා අධික දුර්ගන්ධයක් වහනය වී විෂබිජ මුසුවූ එම ජලය පරිහරණය කරන ජනතාවගේ සෞඛ්‍යටද තර්ජනයක් වී ඇතැයි ඔවුහු පවසති.


මෙය වරක් දෙවරක් සිදුකරන ක්‍රියාවක් නොවන අතර මාසයකට වරක් පමණ රාත්‍රියේදි කම්කරුවන් යොදා ගනිමින් සිදුකරන බව ප්‍රදේශයේ ජනතාව පවසති. මිට ඉහත දී කීප වරක්ම මෙම පාරසරික දුෂණ ක්‍රියාවලිය සිදුකරමින් පවතින ඇවස්ථාවේදීම ලබා ගත් ඡායාරූප සහිතවම මාධ්‍ය මගින් කරුණු අනාවරණය කළද නගර සභාව ඊට කිසිදු පියවරක් මේ දක්වා ගෙන නොතිබුණි. 


ඔවුන් පවසනුයේ වැසිකිළිය නගර සභාව සතු වුවද පිරිපාලනය ටෙන්ඩර් මගින් පුද්ගලික කෙනෙකුට පවරා ඇති බවයි. වැසිකිළිය හා කැසිකිළිය පරිහරණය කරන ජනතාවගෙන් රුපියල් 10/- ත් 20/- ත් වැනි මුදලක් අයකරනු ලැබේ.

එම ස්ථානයේ කටයුතු සිදුකරන බව පවසන කාන්තාවක් අපද්‍රව්‍ය බැහැරකරමින් සිටින අවස්ථාවේදි පැවසුවේ නගර සභාවේ ගලියෙන් අපද්‍රව්‍ය ඉවත් කර දෙන මෙන් ඉල්ලීම් කර මුදල් ගෙවා ඇති බවත් සේවය ලබා නොදීම නිසා දිගින් දිගටම මතක් කළ අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා විදුලියෙන් ක්‍රියාත්මක වන නවින මාදිලියේ ජල පොම්පයක් ලබා දි මෙසේ ඉවත් කර ගැනිමට උපදෙස් දුන් බවයි.

ඉකුත් ජනවාරි 29 වන දා රාත්‍රියේ කම්කරුවන් යොදාගනිමින් මළ අපද්‍රව්‍ය විවෘත පරිසරයට මුදා හරිමින් සිටින අවස්ථාවේ හැටන් පොලිස්ථානයේ මුලස්ථාන පොලිස් පරික්ෂක වරයාට දුරකථනයෙන් දැනුම් දිමෙන් පසු නිලධාරින් තිදෙනෙක් එම ස්ථානයට යොමු කර තිබුණි.

ඔවුන් පැමිණෙන විට කම්කරුවන් නික්ම ගොස් තිබූ අතර කම්කරුවන් විසින් දමා ගිය උපකරණ කීපයක් ද එහිදී පොලිස් භාරයට ගන්නා ලදි. නමුත් එතනින් එහාට කිසිදු පියවරක් ගත් බවක් අනාවරණය නොවිණි.

ෙකෙසේ වෙතත් මිනිසාගේ තිඹිරිගෙයි සිට සුසානය දක්වා සියළු සුබසාධන සැපයිමේ වගකිම දරණ, ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පළාත් පාලන ආයතනයක් මුදල මත පමණක් පදනම්ව කටයුතු කරමින් ජනතාවගේ සනීපාරක්ෂාවට තර්ජනයක් එල්ල වන අයුරින් ක්‍රියා කිරීම නගර වාසින් තරයේ හෙළා දකිමින් වගකිවයුත්තන්ට අප්‍රසාදය පළකර සිටිති. 

ඉහත චෝදනාව සම්බන්ධව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.බාලක්‍රිෂ්ණන් මහතාගෙන් කළ විමසීමකදි ඔහු සඳහන් කලේ එම වැසිකිළිය පවත්වාගෙන යාම ටෙන්ඩර් මගින් පුද්ගලික අංශයකට පවරා ඇති බවයි.  ඒ අනුව එකරාශිවන අපද්‍රව්‍ය ඉවත්කර ගැනිම එම පුද්ගලයින් ක්‍රියා කළ යුතු බැවින් ඒ සදහා නගර සභාවේ වගකිමක් නැති බවද අපද්‍රව්‍ය ඉවත් කිරිමට උපකරණ හෝ උපදෙස් ලබාදිම තමන් සිදු නොකළ බවද සඳහන් කළ ඔහු  එම චෝදනාව ප්‍රතික්ශේප කරන බවත්  පැවසීය.