හාල් - පොල් රටින් ගෙන්වීමට කැබිනට් තීරණයක්


(අජන්ත කුමාර අගලකඩ)

ජීවන වියදම පාලනය සඳහා සහල් සහ පොල් මද පිටරටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ජීවන වියදම ඉහළ යාමට සියයට 60 ක් බලපා ඇත්තේ සහල් සහ පොල් මිල බව එම කැබිනට් රැස්වීමේදි ඇමැතිවරුන් පෙන්වා දී ඇත.පොල් මිල සියයට 33 කින්ද සහල් මිල සියයට 27 කින්ද ජීවන වියදම ඉහළ යාමට බලපා ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සහල් සහ පොල් ආනයනය කළ යුතු බව ඇමැතිවරුන් පෙන්වා දී ඇත.

ජීවන වියදම ඉහළ යාම පිළිබඳව කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ජීවන වියදම පාලනය සඳහා සහල් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන ලෙස සතොසට දැනුම් දුන්නද සතොස එම කාර්යය නිවැරදිව සිදුකර නැති බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කළ බවද වාර්තාවේ.

ඊට පිළිතුරු දී ඇති වෙළෙඳ ඇමැති රිෂාද් බදියුදින් මහතා සතොසට සහල් ගෙන්වීමට මුදල් අමාත්‍යාංශය මුදල් නොදුන් බවට චෝදනා කර ඇතැයි ද වාර්තාවේ. ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත්වූ අදහස් සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා සහල් ආනයනය සඳහා තිබෙන සියලූ බාධක ඉවත් කර සහල් ආනයනය සඳහා ඉඩ දෙන්නැයි උපදෙස් දී ඇත.

මේ අතර පොල් මද ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මේ අතර පොල් තෙල් නිෂ්පාදනය කර අපනයනය කරන ව්‍යාපාරිකයින්ට ආනයනය කරනු ලබන පොල් මද ලබාදී ඔවුන් සතු පොල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමටද එහිදී තීරණය වී තිබේ.