හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ලබාදෙන තුරු 10,000ක අත්තිකාරමක්


(ඩයනා උදයංගනී)

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති ආපදා තත්ත්වයෙන් හානියට පත් නිවාසවල හානිය ගණනය කර වන්දි මුදල් ලබාදෙන තුරු එම සියලු නිවාස වෙනුවෙන් අත්තිකාරම් ලෙස රුපියල් 10,000 බැගින් ලබාදීම හෙට (26) සිට ආරම්භ කරන බව වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිසිර කුමාර මහතා පැවසීය.

මේ සඳහා මේ වන විටත් රුපියල් ලක්‍ෂ 353ක මුදලක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට නිවාස 64කට පූර්ණ හානි සිදුව තිබූ අතර තවත් නිවාස 3841 කට අර්ධ හානි සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.

අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ චමින්ද පතිරාජ මහතා පැවසුවේ හානියට පත් සියලු නිවාස සඳහා හානි ගණනය කර ජාතික රක්‍ෂණ භාර අරමුදල යටතේ වන්දි ලබාදීමට පියවර ගන්නා බවයි.

මීට අමතරව දැනට අවතැන් වී සිටින ජනතාවට ආහාර පාන ලබාදීම ඇතුළු සහන සේවා කටයුතු සඳහා ද රුපියල් ලක්‍ෂ 388ක මුදලත් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී තිබෙන බව ද ඔහු කීවේය.