හරීන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙයි


‘ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයේදී තමන් පැරදවීමට ක්‍රියා කළ අය සමග වැඩිපුර ක්‍රියාකරද්දී ඔහුගේ ජයග්‍රහණය සඳහා දිවි පරදුවට තබා කටයුතු කළ අපේ ඇඟේ මයිල් කෙලින් වෙනවා‘ යැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

සිදුවන ඇතැම් දේ පිළිබඳව ප්‍රශ්න ද හිතාගැනීමටත් දරා ගැනීමටත් නොහැකි අවස්ථා තිබුණත් ජනපති තමන්ට ඡන්දය දුන් ලක්ෂ 63 කට ආසන්න ජනතාවට අසාධාරණයක් නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන්ට රටේ ජනතාව අතර ප්‍රසාදයක් නොමැති නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇඟේ එල්ලී, මහින්ද රාජපක්ෂ මහතාගේ නමත් විකුණා ජයග්‍රහණ ලබන්නට උත්සාහ කරන බවද මහ ඇමැතිවරයා කීවේය.

ඔවුන් කෙතරම් උත්සාහ කළත් දූෂිතයන් පාරම්පරික සොරුන් යළිත් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව මේ වන විට පැහැදිලි තීන්දුවක් ගෙන ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

web-hari

ඡායාරූප - ඉෂංක සුනිමල්