හරිනි - රොබෝ එක්ක කතා කරයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක්  කරා ගෙන යාමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය මූලික පියවර වන්නේ නවීන තාක්ෂණයට අනුකූල වන මානව සම්පතක් නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පැවසුවාය. 

ඒ සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වැඩි ඉඩක් වෙන් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පැවැත්වූ  AI තාක්ෂණය පිළිබදව "NATIONAL AI EXPO 2025 " සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයෙහි ආරම්භක අවස්ථාවට එක්වෙමින් බත්තරමුල්ල මොනාර්චි  ඉම්පෙරියල් හෝටලයේදී   අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය  සැප්තැම්බර් 29 හා 30 දෙදින පුරා බත්තරමුල්ල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වේ. 

AI ජාතික ප්‍රදර්ශනය යනු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නවෝත්පාදන සඳහා වූ ප්‍රමුඛතම ගමනාන්තයක් වන අතර, කෘත්‍රිම බුද්ධිය නවීන තාක්ෂණය සමග යොදා ගැනීම , පර්යේෂකයන්, ව්‍යාපාරිකයින් සහ සමාගම්  අතර සම්බන්ධීකරණයක් ඇති කරමින් කෘත්‍රිම බුද්ධිය විවිධ කර්මාන්තවල  දියුණුවට යොදා ගැනීම ප්‍රවර්ධනය  කිරීම, පාසල් අවධියේ සිට AI තාක්ෂණය හදුන්වා දීම හා මෙවලම් භාවිතය හදුන්වා දීම මෙම සමුළුවෙහි අරමුණුයි. 

මෙහිදී අග්‍රාමාත්‍යවරිය රොබෝවරයෙක් සමඟ සංවාදයේද නිරත වුවාය.