හම්බන්තොට හර්තාල්


(සනත් ගමගේ)
හම්බන්තොට නව මහ රෝහල ජනතා අයිතියට පත් කිරීමෙන් හම්බන්තොට පැරණි නගරයේ සියලු ව්‍යාපාරික ස්ථානවලට මරු පහරක් එල්ලවන බව පවසමින්  හම්බන්තොට නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා කළු කොඩි ඔසවා  අද (01)  හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
 
හම්බන්තොට වෙළඳ සංගමය හා සියලුම ව්‍යාපාරික ප්‍රජාව හා එක්ව හම්බන්තොට බස් නැවතුම්පොළ ඉදිරිපිට  දී ව්‍යාපාරික ස්ථානවලට ඇතිවන බලපෑම්වලට විසඳුම් ඉල්ලා සත්‍යග්‍රහයක් ද ආරම්භ කර තිබේ.
 
හම්බන්තොට මහ රෝහල පිහිටා තිබූ ස්ථානය අවට සහ හම්බන්තොට නගරය තුළ පිහිටි ව්‍යාපාරික ස්ථානවලට ජනතාව පැමිණියේ රෝහල පිහිටා තිබූ හෙයින් වන අතර රෝහල අළුත් පාරේ අලුතින් ඉඳිකළ ස්ථානයට රැගෙන යෑමෙන් ජනතාව හම්බන්තොට නගරයට පැමිණිම සම්පූර්ණයෙන්ම නතර වේ.
 
මේ නිසා  ව්‍යාපාරික කටයතු බංකොලොත් වන හෙයින් ව්‍යාපාරික ප්‍රජාවට සාධාරණයක් කරන ලෙස ඉල්ලා  මෙම සත්‍යග්‍රහනය සහ හර්තාල් ව්‍යාපාරය අරඹා ඇති බව හම්බන්තොට වෙළඳ සංගමයේ ලේකම් සාරංග දේව සුරේන්ද්‍ර මහතා කිය.
 
 මීට පෙර හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නව පරිපාලන සංකීර්ණයට රැගෙන යෑම හේතුවෙන් ද ව්‍යාපාරික ස්ථානවලට බලපෑම් එල්ල වූ අතර මහ රෝහල පිහිටා තිබීමෙන් එය මඟ හැරීගිය බවත් මහ රෝහල රැගෙන යෑමෙන් හම්බන්තොට ව්‍යාපරිකයින් කබලෙන් ළිපට  වැටුණු  බවත් සාරංග මහතා සඳහන් කළේය.
 
කිසි විටක හම්බන්තොට නව මහ රෝහල විවෘත කිරීමට විරුද්ධ වීමක් නොව ව්‍යාපාරික ප්‍රජාවට සිදුවන අසාධාරනය ගැන පමනක් මෙම විරෝධතාවයේ අරමුණ බවත් අළුත් රෝහල පිහිටි ප්‍රදේශයෙන් ව්‍යාපාරික ස්ථාන ආරම්භ කිරීමට සුදුසු ස්ථාන ලබා දෙන ලෙසටත්, පැරණි රෝහල තවදුරටත් එසේම එම ස්ථානයේ පවත්වාගෙන යන ලෙසටත් ඉල්ලා සිටින බව ව්‍යාපාරික සංගමයේ ලේකම් වරයා කියා සිටී.