ඩයනා උදයංගනී
හම්බන්තොට වරාය පෞද්ගලික සමාගම් දෙකකට බදුදීම හේතුවෙන් රැකියා අහිමිවීම නිසා උපවාසයක යෙදී සිටි පිරිසට රුපියල් ලක්‍ෂ 10 බැගින් වන්දි ලබාදීමටත්, 135 දෙනෙකු සුදුසුකම් මත වරාය අධිකාරියට බඳවා ගැනීමටත් පොරොන්දු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප ලේකම්, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
පොරොන්දු වූ එම විසඳුම් ලබාදීම මැතිවරණ සමයක කළ නොහැකි බැවින් මැතිවරණයෙන් පසු පෙබරවාරි 11 වැනිදා සිට ඊට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මාගම්පුර වරාය සමාගම යටතේ රැකියාවට බඳවාගෙන තිබූ ඔවුන්ට වරාය අධිකාරිය යටතේ රැකියා ලබාදීමේ නීත්‍යානුකූල අවශ්‍යතාවක් නැතත් මනුෂ්‍යත්වය සලකා එම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
රැකියාවලට බඳවා ගන්නා අය සිය වන්දි ප‍්‍රතික්ෂේප කර එම මුදල රැකියා අහිමිවන 200ට ලබාදීමට කැමැත්ත පළ කළ බව ද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළ අතර 135 දෙනෙකු වරාය අධිකාරියට බඳවාගැනීම සුදුසුකම් මත සිදුකරන බව ද ප‍්‍රකාශ කළේය.
එමෙන්ම මීට පෙර ලබාදුන් වන්දි මුදල් ලබාගෙන ඉවත් වූ අයටද ඒ සඳහා අයදුම් කළ හැක බව ඇමති සමරසිංහ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

