සෞදියේ සේවය කළ කතකට ලක්ෂ 26ක හිග වැටුප් හිමිවෙයි


(ඩයනා උදයංගනී)
     

 ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ සේවය කරමින් සිටි කාන්තාවකට ලැබිය යුතුව තිබූ රුපියල් ලක්ෂ විසිහයක හිග වැටුප් ලබාගෙන ඇය අතට පත්කිරීම විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් සිදුකෙරිණි.


      මෙසේ රුපියල් ලක්ෂ විසි හයක හිග වැටුපක් ලබාගත්තේ කිට්නසාමි ලලිතා රංජනී නැමැති රත්නපුරයේ පදිංචි කාන්තාවකි.


      මෙම කාන්තාව ගෘහ සේවිකාවක් ලෙස විදේශගත වී ඇත්තේ 2009 වසරේදී වන අතර ඇය වසර අටක කාලයක් ඇය සෞදි අරාබියේ නිවසක සේවය කරමින් සිටියත් එහි හිමිකරුවන් ඇයට වැටුප් ලබාදී නැත. 


      ලංකාවේ සිටින සිය පවුලේ සාමාජිකයින් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වීමටවත් ඇයට අවස්ථාවක් ලැබී නොතිබූ බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.


      ඇය සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට ඇගේ පවුලේ ඥාතීන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව සෞදි තානාපති කාර්යාලය හරහා ඇය සොයා ගැනීමට විශාල වෙහෙසක් දරා තිබූ අතර පසුව නිවසේ හිමිකරුවන් විසින් 2017 වසරේ ජුනි මාසයේදී මෙම කාන්තාව සෞදි තනාපති කාර්යාලයට ගෙනවිත් භාරදී තිබේ. 


      ඉන් අනතුරුව ඇගේ හිඟ වැටුප් ලබාගැනීමට තානාපති කාර්යාලයේ නිලධාරීන් මැදිහත්වී අධිකරණයේ නඩු පවරා තිබූ අතර නඩුව අවසානයේදී හිග වැටුප් ලෙස සෞදි රියාල් 64"000ක එනම් රුපියල් ලක්ෂ 26ක මුදලක් ඇයට හිමිවිය.


      විදේශ රැකියාවල නිරතව සිටියදී නියමාකාරයෙන් වැටුප් නොලබන ශ‍්‍රමිකයින් සදහා අවශ්‍ය සහන ලබාදීමට විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ මැදිහත්වීම මත විශේෂ අවධානය යොමු කර තිබෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


      මෙම මුදල් ප‍්‍රදානය කිරීමේ අවස්ථාව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කිෂෝලි පෙරේරා මහත්මිය සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බී.ඩබ්ලිව්.එම්.පී.කේ.ටී. හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියහ.