සෞදියෙන් කෝටි එක හමාරක රන් රට ඉඳි


රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 20 ක් රට ඉඳි අස්සේ  සඟවාගෙන  සෞදි අරාබියේ ජෙඩා නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ  අම්පාර, කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවත් ඔවුහු සතියකට හතර වතාවක් පමණ සෞදි අරාබිය හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බවත්  විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් 20 හි බර කිලෝ ග්‍රෑම් එක හමාරකි.

සැකකරුවෝ  මීට  දින දෙකකට පමණ පෙර මෙරට සිට  සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වෙයි. ඔවුහු යළි සෞදි අරාබි  ගුවන් සේවයට අයත් එස්.වී 782 දරණ ගුවන් යානයෙන් අද  දහවල් මෙරටට පැමිණ  සිටියදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුන තොරතුරක් මත පැමිණීමේ පර්යන්තයේදී මොවුහු අත් අඩංගුවට  ගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව රන් බිස්කට් සහ සැකකරුවන්  ගුවන්තොටුපල රේගුවට බාර දීමට නියමිතය.

1 2 7