(තිළිණි ද සිල්වා)
මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ රාජ්‍ය මුදල් අවභාවිතා වන බව කියමින් වත්මන් රාජ්‍ය සමයේ රජයේ ආයතනවල සිදුවු වංචා සහ දුෂණ සිද්ධීන් සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ ගොනු වී ඇති පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පි‍්‍රයන්ත අතපත්තු මහතාට එම කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වමින් අද (31) සිතාසි නිකුත් කරනු ලැබ ඇත.
වත්මන් රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැළකෙන දුෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් මෙම සිතාසි නිකුත් කරන ලදී.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලබන මස 12 වැනි දින පස්වරු 1.30ට කොමිසම හමුවේ පෙනී සිටිමින් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට එම ජනාධිපති කොමිසම නියෝග කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ගොනු කළ එම පැමිණිල්ලේ වැඩිදුර විභාගය ද එදින සිදුකිරීමට නියමිත බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තීන්දු කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට කොමිසම හමුවේ පෙනී සිටිමින් ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසට සිතාසි යොමු කිරීමට තීරණය කර ඇත්තේ ඊයේ (30) දින ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සෞඛ්‍ය හා පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා සාක්ෂි ලබාදීමෙන් පසුවයි.
එහිදී ඇය කොමිෂන් සභාව හමුවේ ප‍්‍රකාශ කර සිටියේ මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට අයිති නොමැති වුවත් එහි ණය මුදල් සහ අනෙකුත් සියළු වියදම් රජය විසින් දරණ බවයි.
එමෙන්ම අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් මගින් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ අයිතිය වසර 10ක් යනතුරු සයිටම් ආයතනයටම පවරා ඇති අතර, එය රජයට පවරා ගන්නේ නම් එම කාලසීමාවෙන් පසු ක‍්‍රියා කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය කොමිසම හමුවේ පිළිගෙන ඇත.

