සෞඛ්‍ය ඇමති දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීමට යයි


කාංචන කුමාර ආරියදාස

දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීම සඳහා පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ බිම  වැතිරී නේවාසිකව  ප්‍රතිකාර ලබන රෝගීන් නිරීක්ෂණය නොකළේ යැයි රෝගී කාන්තාවන්ගෙන්  චෝදනා එල්ල විය.

දඹුල්ල  වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ පවතින අඩුපාඩු සොයාබැලීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා , පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන් කණ්ඩායමක් අද (01) දඹුල්ල රෝහලට පැමිණියහ.

අමාත්‍යවරයා එම වාට්ටුව ඇතුළට නොයා දොර ආසන්නයේ සිට වාට්ටුව දෙස බලනවාත්  සමඟ එහි සිටි හෙද නිලධාරිනියක කියා සිටියේ එම වාට්ටුවේ ඉඩ ප්‍රමාණය අවම වීම නිසා අපහසුතා රැසකට පත්ව ඇති බවයි.

රෝහලේ සිටි රෝගී  කාන්තාවන් බිම වැතිරී සිටින ආකාරයත් එක ඇඳේ දෙතුන්දෙනා ප්‍රතිකාර ගන්නා ආකාරයත් අප දුටු අතර එහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් අමාත්‍යවරයා පිටව යනවාත්  සමඟ දැඩි ලෙස කෝපයෙන් කෑගසන්නට වූවාය.

රෝහලේ  සංචාරයෙන් පසු අමාත්‍යවරයා රෝහල් භූමියේ ඉදිකෙරුණු වකුගඩු රෝගී අංශයේ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ අඩුපාඩු පිළිබඳව කතාබහ කළේය. දඹුල්ල රෝහලේ පවතින  සේවක හිඟය පිළිබඳව රෝහල් සේවකයෝ අමාත්‍යවරයාට දැනුම් දුන් අතර රෝහලේ ඉඩ පහසුකම් අවම  බව ද පෙන්වා දුන්හ.

ලංකාවේ  සෞඛ්‍ය ක්‍රමවේදය පිළිබඳව මුළු ලෝකෙම මවිතයට පත්ව තිබෙන බවත්  ලෝක  සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිත්වය පසුගියදා තමන්ට හිමි වු බවත් එහිදී වෙනත් රටවල් වල නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පිළිබඳව සතුටු වී ඇමරිකාවට  පවා දොස් නගන්නට වූ බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා එහිදි පැවසීය.

එමෙන්ම දඹුල්ල මූලික රෝහලට අංගසම්පූර්ණ රෝහලක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.