සේවය නිමවා යමින් සිටි පොලිස් නිලධරයාට ප්‍රහාරයක්


(මොහොමඩ් ආසික්)
අංකුඹුර  පොලීසියේ සේවය  කරන උප පොලිස් පරීක්ෂකවරයකු සේවය නිමවී නිවසට යමින් සිටියදී තියුණු ආයුධවලින් කපා කොටා ඇතැයි පොලිසිය කියයි.
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේඇළ මුදුනකඩේ ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මඟ හරස් කර උප පොලිස් පරීක්ෂකවරයාට  මන්නා පිහියා ඇතුළු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදු කරනු ලැබ තිබේ.
කැලෑවක සැඟවි සිටි මෙම පුද්ගලයින් උප පොලිස් පරීක්ෂකවරයා පැමිණි යතුරු පැදිය නවතා ඔහුට දිගට හරහට මන්නා පිහියකින් කොටා ඇති අතර අංකුඹුර අලවතුගොඩ මාර්ගයේ මුදුනකඩේ ප්‍රදේශයේ ජනශූන්‍ය ප්‍රදේශයකදී පහර කෑ උප පොලිස් පරික්ෂකවරයා ඇවිදගෙන කඩමණ්ඩියට පැමිණියද අතරමඟදී ඇද වැටී තිබේ. 
බරපතල තුවාල ලැබ සිටි උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රදේශවාසීන් එක්ව  අංකුඹුර රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසුව මහනුවර මහ රෝහලට මාරු කරනු ලැබ තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවකු  අත් අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.