සෙවනගල සීනී කම්හලේ සේවකයෝ වර්ජනයක



(අජිත්ලාල් ශාන්තඋදය  සහ ජයන්ත නානායක්කාර)


රජයට පවරාගත් පසු ලාබ ලබන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව අමාත්‍යාංශ විෂයපථ මාරුව හරහා යළි මුලින් අයිතිය තිබූ දයා ගමගේ මහතාට විකිණීම නොකරන්නැයි රජයට බලකරමින් එහි සේවකයන් දින දහයක් තිස්සේ අරඹා ඇති වැඩ වර්ජනය නිසා නිෂ්පාදන කටයුතු මේ වනවිට ඇනහිට  තිබේ.

 

වර්ජනයට එක්ව සිටින සේවකයන් පවසන්නේ දයා ගමගේ මහතාට විකුණා තිබී පාඩු ලැබූ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ යළි රජයට පවරාගත් බවයි. ඉන්පසු සීනි කර්මාන්ත ශාලාව ලාභ ලබමින් පවත්වාගෙන ආ බවත් විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත්කිරීමට පෙරාතුව රිෂාඩ් බද්දුදීන් ඇමතිවරයා යටතේ තිබිය දී මිලියන 693ක ලාභයක් ලැබූ බවයි.

 

එහෙත් විද්‍යත්මක කැබ්නට් සංශෝධනයේදී ලක්‍ෂමන් කිරිඇල්ල ඇමතිවරයාගේ අමාත්‍යාංශයට සෙවනගල සීනි කම්හල් පත් තර ඇති බව ද සෙවනගල සීනි සමාගම් සේවක වෘත්තීය සමිති නියෝජිතයෝ කියති. ලක්‍ෂමන් කිරිඇල්ල ඇමතිවරයා යටතේ මීට පෙරද සෙවනගල සිනි කම්හල තිබූ බව පවසන වෘත්තිය සමිති නියෝජිතයන් පාඩු ලබා දයා ගමගේ මහතාට විකුණා දැමීමට ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ දුර්වල පාලනය හේතු වූ බව ද කියති.


ඒ නිසා සෙවනගල සීනී කම්හල ලක්‍ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ විෂය පථයෙන් ඉවත් කරන්නැයි වර්ජිත සේවකයෝ රජයට බලකර සිටිති. මේ වනවිට උක් අස්වනු පැටවූ ට‍්‍රැක්ටර් කර්මාන්ත ශාලාව ඇතුළට ගැනීමට සේවකයන් කැමැත්ත දැක්වුවද, ඉල්ලීම් කිහිපයක් ලැබෙන තුරු ට‍්‍රැක්ටර් හිමියන් එම අස්වැන්න පැටවූ ට‍්‍රැක්ටර් කර්මාන්ත ශාලාවට ඇතුලූ කිරිම ප‍්‍රතික්ෂේප කරන බව අන්තර් සමාගම් සේවක සංගමය මේ අතර පවසයි. 


උක් ගොවීන් පවසන්නේ මෙම වැඩවැරුම නිසා විශාල පාඩුවක් සිදුව ඇති බවයි. 


තමන්ගේ ආර්ථිකයට මේ වැඩ වර්ජනය නිසා විශාල බලපෑමක් සිදුවන බව ද ගොවීහූ කියති. වගා බිම්වල කපා දැමු සහ  කර්මාන්ත ශාලාව ඉදිරිපිට අලෙවිය සහා ගෙනා උක්ටොන් දෙදහස් පන්සියයකට ආසන්න තොගයක් ඇති බවත් උක් ගොවීහු පවසති.  


කර්මාන්ත ශාලාව තුළ ද තවත් උක්ටොන් එක්දහස් පන්සියයක් පමණ ඇති බව පවසන උක් ගොවීහූ මේ වනවිට උක්ටොන් හාරදහසක් පමණ ඇඹරීමට සූදානම් තත්වයේ ඇති බව ද කියති.