සෙවණගල පොලිසියේ දුෂණ මර්දන අංශයේ ලොක්කාට වැඩ වරදී


(සුජිත් හේවාජුලිගේ)

කසිප්පු ජාවාරම්කරුවන් පිරිසක් සමඟ හිතවත්කම් පාමින් ඔවුනට රහසිගත තොරතුරු ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෙවණගල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් මහතා පැවැසීය.

මේ නිලධාරියා කසිප්පු ජාවාරම්කරුවන්ට ලබා දී ඇත්තේ පොලීසියේ වැටලීම් පිළිබඳ තොරතුරු යැයි පැවසූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එය බරපතළ වරදක් යැයිද ප්‍රකාශ කළේය.

මේ නිලධාරියා කසිප්පු ජාවාරම්කරුවන්ට තොරතුරු ලබා දෙන බවට ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් මත ඔහු කුට්ටිගල පොලීසියට ඉකුත් 29 වැනිදා මාරු කර යවනු ලැබීය.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සනත් කුමාර මහතා මූලික පරීක්ෂණයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට මෙසේ කටයුතු කර ඇත.