ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සුදුසු වන්නේ හයිබ්‍රිඩ් (මිශ්‍ර) අධිකරණයක් යැයි ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් මහතා යළිත් යෝජනා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තාව සභාගත කිරීමෙන් පසුව බදාදා (30) ඒ ගැන පැවති විවාදයේදී අදහස් දක්වමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මේ බව කියා ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.
පසුගිය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන චෝදනාවලට අදාළව රට තුළට පිවිස අදාළ කටයුතු කිරීම පවා වැළැක්වූ බවද පෙන්වාදුන් ඒ මහතා ශ්‍රී ලංකාව තුළ දිගුකාලීන සාමය හා සංහිඳියාව පවත්වාගෙන යාමට අවස්ථාවක් දැන් උදාවී ඇති බවද පෙන්වා දුන්නේය.
ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට පසුගිය කාලයේදී යම් යම් බලපෑම් සිදුව ඇති බව පෙන්වාදුන් මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ දේශිය නීති පද්ධතිය මෙවැනි කටයුත්තකදී ප්‍රමාණවත් නොවන බවද පෙන්වා දුන්නේය .
එමෙන්ම වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව හොඳ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ නොමැති නිසාත්, ශ්‍රී ලංකාවේ අධිකරණ යාන්ත්‍රණය විනාශ වී ඇති බවට පෙන්නුම් කරන්නේ යැයි හෙතෙම පෙන්වා දුන්නේය.
මේ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටලුවේදී සුදුසු වන්නේ හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍ය බව මානව හිමිකම් මහකොමසාරිස්වරයා පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සෙවීම සදහා වන දේශීය යාන්ත්‍රණයකට සහාය දක්වමින් ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක සම අනුග්‍රහයෙන් කවුන්සිලයේ සභාගත කළ යෝජනාව පිළිබඳව වන විවාදය බදාදා පස්වරුවේ ආරම්භ වු අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා නිත්‍ය නියෝජිතවරයා කියා සිටියේ සිදු වී ඇතැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව රජය ගත් ක්‍රියාමාර්ග පැසසුම් කළ යුතු බවයි.
එසේම තවත් බොහෝ දේ කිරීමට ඇති බවත්, පීඩාවට පත් වුවන් සදහා යුක්තිය හා සාධාරණය ඉටු කිරීම හා වගවීම ඉන් ප්‍රධාන වන බවද කීය.
මීට අමතරව බෙල්ජියම ,නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශංසාත්මක අදහස් දක්වා ඇත.

