(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ කොටි හිතවාදී ප්‍රකාශය ගැන මැති සබයේ උණුසුම්කාරී තත්වයක් ඇතිවු අවස්ථාවේදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරණ ලදැයි චෝදනා ලබා සිටින ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද (16) නිදහසට කරුණූ විමසා ඇත.
පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව රණවීර මහතා එම කමිටුව හමුවේ අද උදේ පෙනී සිටියේය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පැවසුවේ එදින පාර්ලිමේන්තුවේ ඇතිවු සිද්ධියේ වීඩියෝ දර්ශන පෙන්වා වරප්‍රසාද කමිටුව තමාගෙන් නිදහසට කරුණු විමසු බවයි.
පාර්ලිමේන්තුවේ ඒ කලබලය තවදුරටත් උත්සන්න වුණේ කතානායකවරයා ඒ ගැන කතා කිරීමට විපක්ෂයට ඉඩ නොදුන් නිසා බවත් කොටි හිතවාදි ප්‍රකාශයක් කළ විජයකලා මහේෂ්වරන්ට විරුද්ධව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති තත්වයක් යටතේ ඒ ගැන කතා කිරීමට උත්සාහ දැරූ මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට යෑම සාධාරණ දැයි ජනතාව සිතා බැලිය යුතු බවත් තමා වරප්‍රසාද කමිටුවට දැනුම් දුන්නේ යැයිද රණවීර මහතා කිවේය.
පාර්ලිමේනතුවේ මේ උණූසුම්කාරී සිද්ධිය ඇති වුයේ ඉකුත් 3 වැනිදා පෙරවරුවේය.