සුළගෙන්-වැස්සෙන් හැටන් කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා


(රංජිත් රාජපක්ෂ)                        
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (08) අලුයම සිට තද සුළං තත්ත්වයක් සහ වැසි තත්ත්වයක් පැවතීම හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ගස් සහ අධි බලැති විදුලි රැහැන් කඩා වැටී රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

හැටන් කොළඹ ප්‍රධාන මර්ගයේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේ සහ ගිනිගත්හේන පිටවල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස තිබු විශාල ගස් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද(08) අලුයම 3.30 සිට උදැසන 6.30  දක්වා ඇණ හිට තිබුණි.

සැහැල්ලු වාහන  පමණක් විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට ගිනිගත්හේන පොලිසිය මගින් කටයුතු කර තිබුණි.

ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීමත් සමග ප්‍රධාන අභියසින් ඇද තිබු අධි බලැති විදුලි රැහැන් පද්ධතියක්ද මාර්ගයට කඩා වැටි දැඩි හානි වී තිබේ.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටි තිබු කොස් ගස්, සපු ගස්, අඹගමුව ප්‍රාදේශීය සභාවේ සේවකයින්, ගිනිගත්හේන පොලිසියේ නිලධාරීන් සහ ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් විසින් ඉවත්කර එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මංතීරුවකට පමණක් සීමා කර ඇත.

ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති විදුලි රැහැන් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කරනු ලැබුවේය.

පවතින තද සුළං තත්වය සහ වැසි තත්වය හේතුවෙන් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාන කිහිපයකම වරින්වර විදුලියද ඇණ හිටියේය.

තවදුරටත් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල තද සුලං සහ වැසි පවතින නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් ,හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.