සුළං පෙත්තත් සමග ලොරිය පෙරළිලා


(අමදෝරැ අමරජීව )

මන්නාරමේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාරයට රැගෙන යෑමට ත්‍රිකුණාමල වරායේ සිට ප්‍රවාහනය කළ මීටර 76 ක දිගින් යුත් සුළං පෙත්තක් රැගත් ලොකු ලොරියක් අද (02) පස්වරුවේ වරාය පිවිසුම් දොරටුව අසලදී පෙරළී යාමෙන් වරායේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වූ බව වරාය අධිකාරිය කියයි.

දිගින් මීටර 76 වන පයිබර් ග්ලාස් වලින් නිෂ්පාදිත මෙම සුළං පෙත්තක බර ටොන් 36 ක් වන අතර ලොරියකින් ප්‍රවාහනය කිරීම සඳහා වරාය පිවිසුම් දොරටුව අසලට රැගෙන එද්දි ලොරියේ සමබරතාවය ගිලිහී යෑම නිසා මෙලෙස ලොරිය පෙරළී ගොස් තිබේ.

මෙම සුළං පෙති චීනයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර මෙලෙස ගොඩබාන ලද සුළං පෙති දහයෙන් හතක් මන්නාරමට ප්‍රවාහනය කර තිබුණි. ඉතිරි ඒවායින් එකක් ප්‍රවාහනය කරද්දී මෙම අනතුර සිදුවී තිබේ.

මෙහි ප්‍රවාහන කටයුතු පෞද්ගලික සමාගමක් විසින් සිදුකරන බවත් එක වරකට එක් ලොරියකින් ප්‍රවාහනය කළ හැක්කේ එක් සුළං පෙත්තක් බව වරාය සේවකයෝ කියති.

අනතුරෙන් ලොරි රථයේ රියදුරු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කරනු ලැබීය.