සුසිල්ට එරෙහි පෙත්සම විභාගයට


තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා දකුණු පළාත් සභා මන්ත‍්‍රී එච්.ඒ පියසේන මහතා විසින් අභියාචනාධිකරණයට ගොනු කැරුණු රිට් පෙත්සම විජිත් මලල්ගොඩ (සභාපති) , එච්.සී.ජේ මඩවල සහ ඒ.එච්.එම්.ඒ.නවාස් යන විනිසුරු මඩුල්ල හමුවේ ලබන 21 වැනි දා සළකා බැලීමට නියමිතය.

සුසිල් පේ‍්‍රමජයන්ත මහතා, දකුණු පළාත් සභා ලේකම් කේ.එල්.දයාරත්න, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහත්වරු වගඋත්තරකරුවෝය.

 ඉකුත්දා පැවති මහමැතිවරණයට මාතර දිස්ත‍්‍රික් ස්වාධීන අපේක්ෂකයකු ලෙස නාම යෝජනා ඉදිරිපත් කළ  තමා පක්ෂ ව්‍යවස්ථාව කඩ කර ඇති බැවින්  නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බව දන්වමින් වගඋත්තරකාර සන්ධාන හිටපු මහලේකම්වරයා ලිපියක් මඟින්  දැන්වූ බවත් පෙත්සම්කරු කියා සිටි. චෝදනා පත‍්‍රයක් හෝ විනය පරීක්ෂණයක් නොකැඳවා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බවද ඔහු පවසයි.