(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
බලපත්‍රලාභී සුරාබදු සැල් ආගමික සිද්ධස්ථාන සහ පාසල් වලින් මීටර් 100 ක් දුරින් පවත්වා ගෙන යා යුතු බව අභියාචනාධිකරණය රිට් පෙත්සමක නඩු තීන්දුවක් අද (07) ප්‍රකාශයට පත් කරමින් සදහන් කළේය.
පාසල් දෙකක් සහ ආගමික ස්ථානයක් ආසන්නයේ පිහිටා තිබීම නිසා සිය සුරාබදු අලෙවිසැල වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා ගත් තීරණයට එරෙහිව වත්තේගම පදිංචි ව්‍යාපාරිකයකු ඩී.එල්.පී.බී.පතිරන්නැහේ ගොනු කල පෙත්සමක තීන්දුව දෙමින් අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කලේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොල සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් විසින් මෙම නඩු තීන්දුව ලබා දෙන ලදි.
අභියාචනාධිකරණ විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරු වත්තේගම ප්‍රදේශයේ පාසල් දෙකකට හා සිද්ධස්ථානයකට මැදිව සිය බලපත්‍රලාභි සුරාබදු සල පවත්වා ගෙන යයි. මෙම සුරාබදු සැල හේතුවෙන් එම ප්‍රදේශයේ නීතීය හා සාමය පවත්වා ගෙන යා නොහැකි බවට තීන්දු කළ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අභියාචන පෙත්සම්කරුගේ සුරාබදු සැල වසා දැමීමට නියෝග කර ඇත.ඉන්පසුව ඔහුගේ බලපත්‍රයද අත්හිටුවීමට තීරණය කළ බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් සදහන් කර සිටී.
මෙම ක්‍රියාව නිසා අගතියට පත් පෙත්සම්කරු විසින් මෙම අභියාචන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සම් විභාගයේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටින්නේ සිද්ධියට අදාළ සුරාසැල පාසල් දෙකකට හා සිද්ධස්ථානයකට මැදිව පවත්වා ගෙන යන බවත් , ඊඨ විරෝධය පා සිවිල් සංවිධාන කිහිපයක් තමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්ය.
මෙම රට බීම හල මෙම ස්ථානයේ තවදුරටත් පැවතියහොත් ප්‍රදේශයේ නීතීය හා සාමය පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වෙන බවත් , මෙම සුරාසැල පිහිටා ඇත්තේ සුරාබදු නීතීයට පටහැනි බැවින් එය වසා දැමීට නියෝග කළ බවද වගඋත්තරකාර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.
2008 අප්‍රේල් 10 වැනි දින අංක 1544/17 දරණ සුරාබදු විශේෂ ගැසට් නිවේදනයේ විධි විධාන අනුව අධිකරණය පෙනී යන්නේ බලපත්‍රලාභී සුරාබදු සැලක් පවත්වා ගෙන යා යුතු වන්නේ සිද්ධස්ථානයන්ට හා පාසල් වලට මීටර් 100 ක් දුරින් බවය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධය සුරාබදු සැල වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගත් තීරණය සුරාබදු නීතියට එකග බවත් , නිවැරදි බවත් අධිකරණයේ මතයයි.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා , නීතිඥ ආනන්ද සිල්වා සහ නිරාන් අන්කැටෙල් යන මහත්වරුන් පෙනී සිටියහ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ, රජයේ නීතිඥ ආර්. අලුවිහාරේ සමඟ පෙනී සිටියේය.

