සුරක්ෂා රක්ෂණය දී ඇති සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනපති නියෝග


(අජන්ත කුමාර අගලකඩ)

පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණය දී ඇති රක්ෂණ සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තාවේ.

සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ.

මෙම රක්ෂණය දේශීය සමාගමකට නොදී විදේශීය සමාගමකට දීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විරෝධය පළකර ඇති බව එම ආරංචි මාර්ග කියයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා  දැනටමත් එම රක්ෂණය ක්‍රියාත්මක වන බැවින් ටෙන්ඩරය අවලංගු කිරීමේ හැකිවේ නැතැයි පවසා ඇත.

අදාළ සමාගම තෝරාගෙන ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් බවත් එම සමාගමෙන් සිසුන්ට වරප්‍රසාද රැසක් හිමිවන බවත් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන ඇමැතිවරයා හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හෙට (07) පැවැත්වීමට ද කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇතැයි දැනගන්නට තිබේ.

අය වැය නිසා අද කැබිනට් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.