සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට


(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අළෙවි කිරීමේ සතිය ආරම්භ කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පැලඳවීම  ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) සිදු විය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති නිල්මිණි සමරවීර මහත්මිය විසින් කොඩිය ජනාධිපති ලේකම්වරයා වෙත පලඳවනු ලැබීය.

අනතුරුව, සුදු සැරයටි දිනය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි සම්මේලනයේ නියෝජිතයන්හට සුදු සැරයටි පිරිනැමීමද ජනාධිපති ලේකම්වරයා අතින් සිදු කෙරිණි.

කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන බව එම සංගමයේ සභාපතිනිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර,  ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සහකාර ලේකම් චමීර පුබුදු කුමාර  මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.