සුදු කතගේ සාක්කිය අවසන්


තංගල්ල ‘නේචර්‘ හෝටලයේ දී මරා දැමුණු බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා විත්තියේ නීතීඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ නඩුවේ සැකකරුවන් තමා කෙ‍ළෙසා ඇති බවයි.

ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය,තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාන පතිරණ,ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන්,හා ප්‍රගීත් චතුරංග සැකකරුවෝය.

2011 නත්තල් දා හෝටලයේ වූ සිද්ධිය තමාට මතක යැයි ඕ කීවාය. ඇය මෙසේ ද පැවසුවාය.

‘මම පොලිසයට මහේස්ත්‍රාත්ට හා අධිකරණ වෛද්‍ය නිලධාරියාට ප්‍රකාශ දුන්නා. ඒ අවස්ථාවේ මා සිටියේ බියෙන්. තැතිගත් ස්වරූපයෙන්. එදා ඒ සිද්ධිය නිසා මට ඉක්මණටම රුසියාවට යන්නට ඕනෑ වුණා. ඒ මගේ ආරක්ෂාව පතා. ශ්‍රී ලංකාවේ හිටියොත් මගේ ජීවිතේ අනතුරට පත් විය හැකි බව මට හිතුණා. මගේ පෙම්වතාත් මරා දැමුණා.

පොලිසියට හා මහේස්ත්‍රාත්ට කළ ප්‍රකාශ වල අඩුපාඩු තිබේනම් ඒ අමතක වීමක් විය හැකියි.

මා රෝහලේ ඇඳේ සිට පොලිසියට කටඋත්තරයක් දුන්නේ මගේ ඇස් බැඳ තිබූ අවස්ථාවක. ප්‍රකාශ ලියා ගත්තේ කවුදැයි මා දන්නේ නෑ.මගේ ප්‍රකාශය ලියා ගත්තේ මට සැත්කමක් කර තිබිය දී. ‘

ඇගේ ප්‍රකාශවල හා කටඋත්තරයේ පරස්පර තැන් කිහිපයක් විත්තියේ නීතීඥවරු පෙන්වා දුන්හ.

හරස් ප්‍රශ්න ඇසීම අවසන් විය. වැඩිදුර විභාගය මාර්තු 31ට කල් තැබිණි.

ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, නින්දා ඉන්ද්‍රතිස්ස, යූ ආර් ද සිල්වා, සම්පත් හේවාපතිරණ හා හෙලණි සී ද සිල්වා යන නීතීඥවරු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.