සුදර්ශියේ මහ සභා රැස්වීමට වාරණයක්


(මනෝප්‍රිය ගුණසේකර)
සිංහල කලාව සහ සංස්කෘතියේ උන්නතිය උදෙසා ආරම්භ කළ ‘සිංහල සංස්කෘතික ආයතනයේ’ (සුදර්ශිය) අද පැවැත්වීමට නියමිත වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු ආර්. ටී. ඩී.ටී.පී.  රත්නායක මහතා වාරණ නියෝගයක් නිකත් කළේය.


2016 වර්ෂයෙන් පසුව පවත්වා නොමැති බව කියන සුදර්ශි අයතනයේ මහ සභා රැස්වීම කැඳවන්න’යි ඉල්ලමින් සාමාජිකයන් 71 දෙනකු කළ ඉල්ලීමකට අනුව එහි ලේකම් සමන්ප්‍රිය මාරසිංහ මහතා විසින් කැඳවා තිබූ වාර්ෂික මහ සභා රැස්වීමට එරෙහිව මෙලෙස වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.


එහි වැඩබලන සභාපති, වැඩබලන ලේකම් සහ භාණ්ඩාගාරික යන තිදෙනා විසින් එහි ලේකම්වරයා වගඋත්තරකරු කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය නිකත් කළ දිසා විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 11 වැනිදා ඉදිරිපත් කිරීමටද නියම කළේය.