සුජීවගේ පැමිණිල්ල ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි


පොලිස් සැරයන්වරයෙකුට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනාසිංහ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක‍්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවු අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන්නේය.     

හබරකඩ ප‍්‍රදේශයේදී ඉකුත් ජූලි 23 වැනිදා  නීත්‍යානුකූල මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී තමාට බාධා කළ පොලිස් නිලධාරීයාට එරෙහිව විනය පියවර ගන්නා  ලෙස ඉල්ලා අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

එයින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහානාම, පොලිස් සැරයන් ගාමිණිවංශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර , පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.