සීවලී විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ දී රැස්වෙයි


(අංජුල මහික වීරරත්න)

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි .

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ආරාධනය පරිදි මෙලෙස ඔවුන්ගේ පළමු සභා වාරය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව  නියෝජනය කරන සභිකයෝ 152ක් මීට එක්වූහ.එහි කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය තෝරාපත් කර ගැනීමෙන් පසුව මංගල සැසිවාරය ආරම්භ කෙරිණි. 

අභිනවයෙන් පත් වූ කථානායකවරිය  භාෂා ත්‍රිත්වයෙන්ම සභාව මෙහෙයවීම විශේෂත්වයක් විය.

මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශිෂ්‍ය අවශ්‍යතාවන් පිළිබඳ යෝජනා සිය අභිමතය පරිදි කෙටුම්පත් කර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව ශිෂ්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.