සීමාව කියාදෙන්න කොමිසම රට වටේ යයි


(බිඟුන් මේනක ගමගේ) 
 
පරිපාලන මායිම් සම්බන්ධයෙන් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා සීමා නිර්ණය කොමිෂන් සභාව ආරම්භ කළ බව එහි සභාපති ආචාර්ය කේ.තවලිංගම් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
 
 
ප්‍රාදේශීය, පළාත් ආදී වශයෙන් වූ බොහෝ පරිපාලන සීමා මායිම් පිහිටුවීමේ තොරතුරු හා දත්ත එම පරිපාලන ආයතනවල සොයාගැනීමට නොමැතිවීම නිසා මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගූ බව ආචාර්ය තවලිංගම් මහතා අවධාරණය කර කීය.
 
 
ඒ අනුව පරිපාලන මායිම්වල සීමා නිර්ණයට අවශ්‍ය තොරතුරු හා දත්ත ආදිය ලබාදෙමින් මෙම දැනුම්වත් කිරීම සිදු වන බව කී හෙතෙම එහි මූලික පියවර හැටියට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත්කිරීම පසුගිය දිනවල ආරම්භ කළ බව ද පැවසීය. 
 
 
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සීමා නිර්ණයට අදාළ තොරතුරු සොයාගැනීමට මූලාශ්‍රයක් සොයාගැනීම සීමා නිර්ණය කොමිසමට පවා දුෂ්කර වූ බවත් අවසානයේදී ඊට අදාළ ගැසට් පත්‍රය සොයාගැනීමට හැකිවුණේ පුස්තකාල සේවා මණ්ඩලයෙන් බවත් තවලිංගම් මහතා කීය.
 
 
මෙම තත්ත්වය මත සීමා නිර්ණය සම්බන්ධ කටයුතු ගැන රාජ්‍ය නිලධාරින් දැනුම්වත් කිරීම සැලකිය යුත්තේ ජාතික වැදගත්කමක් ඇති කාරියක් හැටියට බවත් ඒ අනුව ඒ ඒ ආයතනවලට සිය සීමා නිර්ණය සම්බන්ධ විස්තර ලබාගැනීමට හැකි මූලාශ්‍රයක් හැටියට සීමා නිර්ණය කොමිසම ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති බවත් ආචාර්ය තවලිංගම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.