(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකා සීමා නිර්ණය කොමිෂන් සභාව වෙනුවෙන්ම පනතක් සකස් කෙරෙන බව එහි සභාපති ආචාර්ය කේ.තවලිංගම් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
අදාළ පනත සකස් කිරීම සඳහා වූ පදනම් ලියැවිල්ල ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් පසුව ඉදිරිපත් වූ යෝජනා අනුව සංශෝධන සිදුකළ බවත් අනතුරුව සංශෝධිත ලියැවිල්ල නැවතත් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකළ බවත් ආචාර්ය තවලිංගම් මහතා කීය.
ඒ අනුව එම කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක වෙතට යොමුකිරීමට නියමිත බව ද සභාපතිවරයා කීය.
රජයේ පරිපාලන කටයුතුවලදී අවශ්‍ය සීමා නිර්ණයට පහසුකාරකයක් හැටියට සීමා නිර්ණය කොමිසම යොදාගැනීමට මෙම පනතින් දොර විවර වන බව කී හෙතෙම ප්‍රාදේශීය සෞඛ්‍ය කොට්ඨාශ හා අධ්‍යාපන කලාප ඊට උදාහරණ ලෙස දැක්වීය.
අදාළ විෂය බාර ඇමැතිවරයාගේ බලය පැවැරීමක් මෙමගින් සිදු නොවන බවත් පළාත් සභා සීමා නිර්ණයේදී මෙන් විෂය භාර ඇමැතිවරයාගේ ඇරියුමින් අදාළ රාජකාරිය කොමිසමට බාර කිරීම එයින් සිදුවන බවත් ආචාර්ය තවලිංගම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.