සීනි ගෙන්වීමේදී කෝටි 1600 ක පාඩුවක්


(*** සුජිත් හේවාජුලිගේ සහ *** අංජුල මහික වීරරත්න)

සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මෙම වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1600ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක දැක්වෙන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

මේ පාඩුව සිදුවී ඇත්තේ අපේක්ෂිත බදු ආදායම් අහිමිවීම නිසා යැයි ද ඔහු කීය.
සීනි බදු අඩු කිරීම නිසා මෙරට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් හය දෙනකුට වැඩි වාසියක් සැලසී ඇතැයි පෙනී යන බව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (9) පෙරවරුවේ රැස්විය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ වාර්තාව බාරදී ඇත්තේ එම රැස්වීමේදීය.

මේ තත්ත්වය යටතේ මේ බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පැවැත්විය යුතු බවට කමිටුව නිර්දේශ කරන බවද සභාපතිවරයා පැවැසීය.

ලෝක වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යෑම නිසා පාරිභෝගිකයන්ට සහන සැලසීමේ පියවරක් ලෙස රජය සීනි බද්ද ශත විසිපහක් දක්වා අඩු කිරීමේ තීරණය ගත් බවත් මෙම අඩුකිරීම යම් පමණකට සාර්ථක වුවත් යම් පමණකට අසාර්ථක බවත් යාපා මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මුල් බද්ද තිබුණා නම් මෙරට වෙළෙඳපොළේ සීනි මිල අසීමිත ලෙස ඉහළ යෑමට ඉඩ තිබූ බව ද ඔහු කීය.

සියලු ආයතන එක්වී තීන්දු ගැනීමේ අඩපාඩුවක් ද මෙහිදී නිරීක්ෂණය වූ බවත් සීනි තොග ආනයනය කරන අවස්ථාවේදී මෙරට ගබඩාවල යම් සීනි තොග ප්‍රමාණයක් තිබී ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බවත් මුදල් කාරක සභාව පවසයි.

මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමරත්න හා විදුර වික්‍රමනායක, මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන්, නලින් ප්‍රනාන්දු, විජිත හේරත් හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.