සීදූවේ හොර බෙහෙත් ආයතනය පරීක්ෂාවට


(ටී.කේ.ජී.කපිල )

සීදුව , අමන්දොළුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ ව්‍යාජ ප්‍රතිදේහ විශේෂයක් වූ " ඉමුනොග්ලොබින් "නිෂ්පාදන කළ අයිසෝලෙස් බයෝටෙක් පර්මා  ආයතනය විශේෂ විමර්ශන කණ්ඩායක් විසින් අද  දහවල් පස්වරුවේ පරීක්ෂා කිරීමකට ලක් කරනු ලැබූහ .

මේ සදහා ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ දීපිකා බුලත්සිංහල මහත්මිය ඇතුළු පිරිසක් ද , ආහාර හා ඖෂධ විශ්ලේෂක අමිත් පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී තිබූ අතර මෙම අවස්ථාවට සමාගමේ අයිතිකරු සුදත් ජනක ප්‍රනාන්දු මහතා ද බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කැදවා ගෙන ආවේය .

මීට පෙර අවස්ථාවක ද මෙම නිෂ්පාදන කර්මාන්තශාලාව පරීක්ෂා කිරීමකට මෙම විමර්ශන කණ්ඩායම පැමිණ තිබූ අතර , එහිදී මෙම කර්මාන්තශාලාවේ විදුලි බිල ගෙවා නොතිබීම නිසා ,විදුලිය විසන්ධි කර පැවති නිසා මෙම පරීක්ෂණය අද දක්වා කල් ගොස් තිබුණි .

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ තාවකාලිකව විදුලිය සැපයීමෙන් අනතුරුව මෙම විමර්ශන කටයුතු ආරම්භ විය .

එහිදී මෙම නිෂ්පාදන කර්මාන්තශාලාව තුළ තිබූ රසායනාගාර 03 ක් සහ කාර්යාලය විමර්ශනයට ලක් කර තිබුණි.

එම විමර්ශනයෙන් අනතුරුව මෙම කර්මාන්තශාලා ප්‍රධාන පරිගණක පද්ධතියට අදාළ මතක ගබඩා 10 ක් , එහි ආරක්ෂිත කැමරා පද්ධතියට සම්බන්ධ කර තිබූ දත්ත ගබඩාව ( D.V.R.) සහ මෙම කර්මාන්ත ශාලාවේ ශීතකරණ තුළ තිබූ , ඔවුන් විසින් නිපදවන ලද ව්‍යාජ යැයි සැක කෙරෙන "ඉමුනොග්ලොබින් " කුප්පි 10 ක් ද මෙම විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

පසුව මෙම විමර්ශකයන් පිරිස සිය විමර්ශන කටයුතු නිමවා මෙම නිෂ්පාදන සමාගමේ අයිතිකරු ද රැගෙන  ගියහ.