සීගිරි ජල තටාකය සම්පූර්ණයෙන් හිඳිලා


(කාංචන කුමාර ආරියදාස)
 
ලෝක උරුමයක් ලෙසින් නම්කළ සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක්වීම සඳහා විශේෂ කරුණු රැසක් පාදක වූ අතර ඉන් සීගිරි පව්ව මත පිහිටි ජල තටාකය විශේෂත්වයක් වූයේ එම ස්ථානයට ජලය රැගෙන ගියේ කෙසේ ද යන්න තවමත් සොයාගැනීමට නොහැකි වූ බැවිනි.
 
බොහෝ කාලයක මෙම සීගිරි පව්ව මත තිබුණු පිහිටා තිබූ ජල තටාකය නොසිදෙන ජල උල්පතක් ව පැවතියද මේ දිනවල පවතින අධික නියඟය හේතුවෙන් සීගිරි පව්ව මස්තකයේ පිහිටි ජල තටාකය සම්පූර්ණයෙන්ම සිදී ගොස් තිබේ.
 
එම හේතුවෙන් සීගිරි පව්ව මත පිහිටි ජල තටාකය පතුලේ පවතින රොන්මඩ සම්පූර්ණයෙන්ම ඉවත්කර පිරිසිදු කිරීමට සහ එහි අවට බැමි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශය විසින් ආරම්භ කර තිබේ.
 
මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී සුමිත්‍රා බස්නායක මහත්මිය කියාසිටියේ ජල තටාකය තමන් දන්නා කාලයක මේ ආකාරයෙන් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් නොමැති බවය. කෙසේවෙතත් මේ දිනවල වසර ගණනාවක් තිස්සේ ජල තටාකය පතුළට එක්ව තිබුණු රොන්මඩ ඉවත් කිරීම සහ බැමි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම බවය.
 
මෙම ජල තටාකය අතීතයේ සීගිරි රාජධානිය පැවති සමයේ නාන තටාකයක් ලෙස භාවිතා කරන්නට ඇති බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ මතය වී තිබේ. සම්පූර්ණ ගලෙන් නිර්මාණය වී ඇති මෙම තටාකය ඉතා අලංකාරව අදටත් පැවතීම විශේෂත්වයකි.
 
පවතින දැඩි නියං තත්වය හේතුවෙන් සීගිරිය බලකොටුවේ ඇති පිටත දිය අගල හැරෙන්නට අනෙකුත් සෑම දිය පොකුණක් ම සිදී ගොස් තිබේ. මෙම නියඟය කාලය උපයෝගී කරගෙන වසර ගණනාවකට පසු එම දිය පොකුණු වල පතුලේ  රොන්මඩ ඉවත් කිරීම මේ දිනවල කඩිනමින් අවසන් කරමින් පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර්  අනුර නිශාන්ත මහතා සඳහන් කළේය.
 
සීගිරිය නැරඹීම සඳහා අතීතයේ සිට ගිය බොහෝ දෙනෙකු සීගිරි පව්ව මතට ගොස් දිය සහිත පොකුණ නැරඹීමේ අවස්ථාව උදා වූ අතර මේ දිනවල සීගිරි පව්ව මතට නගින ඕනෑම අයකුට  සිඳී ගිය ජල තටාකය සහ එහි ගැඹුර කොපමණ ද යන්න පවා දැක බලා ගැනීමට හැකියාව පවතී.