සී.අයි.ඩී යට යළි නොතීසි


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ඇතළු හමුදා සාමාජිකයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් හබයාස්කෝපුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ බිරින්දෑවරුන් ගොනු කළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද (09) යළිත් නොතීසි නිකුත් කළේය.

රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා ඇතුළු වගඋත්තරකරුවන් අද (09) අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා යළි නොතීසි නිකුත් කළ අභියාචනාධිකරණය ඔවුන් එලෙස අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් 16 වැනිදා හේතු පැහැදිලි කරන ලෙසටද ඔවුන්ට නියෝග නිකුත් කළේය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවිණි.

එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් වන ටී.සුදර්ශනී,පී.නදීකා,පී.නියෝමි සහ එම්.කුමාරරත්න යන මහත්මීන් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තකරුවන් ලෙස රහස් පොලිසි අධ්‍යක්ෂක සුගත් නාගහමුල, එහි සමූහ කොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති ජේ.වී.නිරෝෂාන් සිල්වා,එහි සහකාර පොලිස් අධිකාරී ෂර්නි අබේසේකර,ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ නීතිපති නම්කරනු ලැබ සිටිති.

ශ්‍රීලංකා යුධ හමුදාවේ මාණ්ඩලික සැරයන් ආර්.එම්.ප්‍රියන්ත කුමාර,කෝප්‍රල් අනුර ජයලත්,ලුතිනන් කර්නල්වරුන් වන ටී.ටී.ඩී.ප්‍රමෝද් සිරිවර්ධන සහ එස්.ඒ.කුමාරරත්න යන යන තම සැමියන්ව පසුගිය අගෝස්තු 24 වැනිදා රහස් පොලිසියේ නිලධරයින් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බවත්,ඔවුන්ව අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අධිකරණයේ රැදවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින බවත් පෙත්සම්කාරිනියෝ කියති.එලෙස රඳවා තබා ගැනීම නීතියට පටහැනි බවත්,එම නියෝග යටතේ පැය 24 කට වඩා රඳවා තබාගත නොහැකි බවත් එනිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔවුහු අභියාචණාධිකරණයෙන් ඉල්ලති.