සී 350 ලේඛනයේ පිටපතක් දෙන්න ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව බෑ කියයි


   

විනීතා එම් ගමගේ        

                               
බැඳුම්කර වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ පිටු සහිත සළකුණූ කළ සී 350 ලේඛනයේ පිටපතක් ලබා ගැනීමට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියත් රාජ්‍ය ලේඛනාරක්ෂක පනත යටතේ එම ලේඛන වසර 30 ක් යනතුරු විවෘත කළ නොහැකි බව එහි නිලධාරින් පැවැසී යැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවමින් පවසා ඇත. 


ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් එහි පිටපත් ලබාගත හැකි බවට ජනාධිපති ලේකම්වරයා දුන් උපදෙස් මත එහි ගිය බව දළ 1973 අංක 48 දරණ රාජ්‍ය ලේඛනාරක්ෂක පනතේ 16 ඩී වගන්තිය යටතේ ( 3 (සී) අනු වගන්තිය යටතේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන්ට අදාලව) අදාළ වාර්තා වසර 30 ක් යනතුරු ලබා ගත නොහැකි  බව පැවැසී යැයි ද එහි සඳහන් වේ. 


කෙසේ වෙතත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක කොටස් මහජනතාවගේ පරිශීලනය සඳහා ලබාදීමට අනුමැතිය ලබාදීමේ හැකියාවක් ජනාධිපති ලේකම්වරයා පවතින බැවින් සමස්ථ බැඳුම්කර වාර්තාවම පොදු මහජන පරිශීලනය සඳහා නිදහස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව මේ පිළිබඳ ලංකාදීපයට අදහස් දක්වමින් කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය. 
 
ලේඛනාරක්ෂක පනත යටතේ, වසර 30 ක් ගතවන තුරු බැඳුම්කර වාර්තාවේ තොරතුරු වසන් කිරීම සිදුවුවහොත් එයින් සිදුවන්නේ බැඳුම්කර හොරුන් ආරක්ෂා කිරීම සඳහා සෘජුව හා වක‍්‍රව සහාය දීම පමණකැයි ද හෙතෙම සඳහන් කළේය. 


එබැවින්, මෙම ලේඛන පිටපත් ලබා ගැනීමට අවශ්‍ය විධිමත් අවසරය හා උපදෙස් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එන්. රූපසිංහ මහතා වෙත යොමු කරන මෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යැවූ ලිපියෙන් ඉල්ලා සිටි බව ද තෙන්නකෝන් මහතා පැවැසීය.