(ජේ.කේ.එල්.චාමින්ද අහංගම සුමතිපාල දියගහගේ)
පාසල් සිසුවියකට ලිංගික අතවර කළ විදුහල්පතිවරයකු අද (17) නීතිඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් විමෙන් පසු අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.
පාසල් සිසුවිය දෙවැනි වතාවට අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියකි. ඇයට පාසලේ දි විදුහල්පතිවරයා විශේෂ සැළකිල්ලක් දක්වා ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම සිසුවියගේ සහෝදරියන් දෙදෙනෙකු ද මෙම පාසලේ ඉගෙනුම ලබති. පාසල් දැරියගේ පියා හෘද රෝගී තත්වයක් හේතුවෙන් අසනීපව සිටින කාලයේ දී මෙම විදුහල්පතිවරයා දැරියගේ නිවසට දෙතුන් වතාවක් පැමිණ ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ. ඊට අමතරව විදුහල්පතිවරයා දැරිය සමඟ දුරකථනයෙන් ද කථා බහකර තිබේ.
ඉකුත් 11 වැනි දා පෙරවරුවේ විදුහල්පතිවරයා පාසල් සිසුවියගේ නිවසට පැමිණ තිබේ. නිවසේ සිට ඇත්තේ පාසල් දැරිය හා අසුවැනි වියේ පසුවු ඇයගේ සියා පමණි. මව තේ කම්හලේ රැකියාවට ගොස් තිබේ. පියාද නිවසේ සිට නැත.
මෙම අවස්ථාවේ දී දැරියගේ නැන්දා කෙනෙකුද නිවසට පැමිණ තිබේ. පසුව දැරිය මවත් සමඟ පැමිණ පිටිගල පොලිසියට පැමිණිලි කර ඇත.පාසල් දැරිය අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කළ බවද පොලිසිය කියයි.
සැකකාර විදුහල්පතිවරයා 46 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. ඔහු බදාදා (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

