සිසුවියකට හදිකළ ගුරා සොයා පොලිස් මෙහෙයුම්


(කාංචන කුමාර ආරියදාස)

පාසල් නිවාඩු කාලයේ උපකාරක පන්ති පවත්වන මුවාවෙන් තුන්වැනි වසරේ   දැරියකට  ලිංගික අපයෝජනයක් කළ ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්  අද(25)  යොදවා ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය කියයි.

ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් දඹුල්ල කොට්ඨාශයේ ප්‍රාථමික විදුහලක තුන්වැනි වසරේ පන්තියකට දරුවන්ට උගන්වන ගුරුවරයකුට එම    වසරේම ඉගෙන ගන්න සිසුවියක්  අපයෝජනය කර ඇති බවට එම දරුවාගේ මව්පියන් දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (24)  පැමිණිලි කර තිබේ.

පාසල් නිවාඩු සමයේ නොමිලේ පාසල තුළම උපකාරක පන්ති පැවැත්වීම එම ගුරුවරයා විසින් සිදුකරගෙන යනු ලබන බවත්  ඒ සඳහා පැමිණි දරුවන් හට ඉගැන්වීම් කටයුතු සිදුකරන අවස්ථාවේ දී මෙම ගුරුවරයා එක් දැරියකට මෙම අතවරය කර තිබෙන බව පොලිසිය  කියයි.

පැමිණිල්ල අනුව ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය  උත්සාහයක් දරුවද ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා සඳහන් කළේය.