සිසුවාට පහර දුන්නාදැයි සොයන්න 10කගෙන් ප්‍රකාශ ගනී


කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට  පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවාගෙන පහර දුන්නේදැයි සොයා බැලීමට පොලිස්පති නියමෙන් පැවැත්වෙන  විමර්ශණයේ දී සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු පිරිසක් අද  (12) දස දෙනකුගෙන්  පමණ ප්‍රකාශ ලබා ගත්හ.

එම පාසල් සිසුවා සහ කැළුම් අත්තනායක නම් එක්දරු පියා පොලිසියේ රඳවාගෙන සිටි බව කියන දින කිහිපයේ පොලිස් සිර මැදිරියේ රඳවා තැබූ  සැකකරුවෝ ද ඊයේ (12) ප්‍රකාශ ලබා දුන් පිරිසට අයත් වෙති.

එම පිරිස දිවුලපිටිය පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවත්, තවත් පිරිසක් කැඳවීමට නියමිත බවත් පොලිස් ආරංචි කියයි.

පාසල් සිසුවා සහ එක්දරු පියාගෙන් ද, පාසල් සිසුවාගේ මිතුරන් ඇතුළු පිරිසකගෙන් ද මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පාසල් සිසුවා අත්අඩංගුවට ගනිද්දී නිවසේ තිබිය දී ගෙන ගියැයි කියන භාණ්ඩ නැවත ලබානුදුන්නැයි කියන සිද්ධිය ගැන ද විමර්ශනයක් පැවැත්වෙයි.

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මසිරි මුණසිංහ සහ ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහත්වරු විමර්ශන පවත්වති.