
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දස දහසක් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී සඳහා ඉදිරියේදී අනුයුක්ත කර විශේෂ දීමනාවක් ලබාදී පහසුකම් වැඩි කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
මීට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිලධාරීන් පන්දහසක් වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා නිලධාරීන් 3975ක් අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා දැනටමත් යොමු කර ඇති බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන් එම දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු වල දිගටම නිරත වන බවත් කිසිම නිලධාරියකුගේ රැකියා සුරක්ෂිතභාවයේ කිසිදු ප්‍රශ්නයක් ඇතිවී නැති බවත් අමාත්‍යවරයා පැවසීය
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 31422 ක් සිටින බවත් එම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරුණු විවිධ ව්‍යාපෘතිවලින් මේ වර්ෂයේදී රුපියල් කෝටි 94කට ආසන්න ආදායමක් උපයාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය සතියේ සිට මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සිවිල් ආරක්ෂක නිලධාරීන් ඔවුන් පදිංචි ප්‍රදේශවලටම මාරු කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව ආනන්ද විජේපාල මහතා පැවසීය.

