සිවාජිලිංගම්ගෙන් ගජේන්ද්‍රකුමාර්ට චෝදනා


සිරාජ් හසීම්
 
දෙමළ ජාතික සන්ධානය යටතේ පැවති  පළාත් පාලන ආයතන දෙකක බලය සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසය නතු වූයේ කොංග්‍රසයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ජාතිවාදයෙන් සහ වංචාවෙන් සිදුකළ මැතිවරණ ප්‍රචාරණය නිසාවෙන් යැයි දෙමළ ජාතික සන්ධාන උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා  පැවසීය‍.
 
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසය චාවකච්චේරි හා පේදුරුතුඩුව නගර සභාවල බලය තහවුරු කරගැනීම දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් වී ඇතිදැයි  කළ විමසුමකට පිළිතුරු දෙමින් සිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම් මහතා මෙසේද කීය.
 
‘‘මෙම කොංග්‍රසයේ මැතිවරණ ප්‍රචාරනයත් මැතිවරණ ප්‍රතිඵලයත් දෙමළ ජාතික සන්ධානයට  සුළු බලපෑමක් එල්ල වී තිබෙනවා.මෙම කොංග්‍රසයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ජාතිවාදී ස්වරූපයෙන් සහ දෙමළ ජාතික සන්ධානය පිළිබඳ අසත්‍ය චෝදනාවන් එල්ල කරමින් සිය මැතිවරණ ප්‍රචාරය සිදුකරළ සැලකිය යුතු පිරිසක් මුලා කරන්න කටයුතු කළා.
 
දෙමළ ජාතික සන්ධානය ඒකීය රාජ්‍ය ක්‍රමයක් පිළිගෙන තිබෙන බවටත්  ෆෙඩරල් ක්‍රමයද ප්‍රතික්ෂේප කර ඇති බවටත් ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරන බවටත්  චෝදනා එල්ල කලා.මේ නිසයි අපිට චාවකච්චේරි හා පේදුරුතුඩුව නගර සභාවල බලය ගන්න බැරිවුනේ.ඔවුන් ඡන්ද 60 000ක් පමණ අඩු වුනේ.ඒත් අපිට පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනන්න පුළුවන් වුනා.


චාවකච්චේරි හා පේදුරුතුඩුව නගර සභා දෙක විතරයි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ කොංග්‍රසයට දිනාගන්න පුළුවන් වුනේ.මේ මැතිවරණ ව්‍යාපාරයේදී අපි ශක්තිමත්ව මුහුණ දුන් නිසාම අපිට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුනා.පළාත් පාලන මැතවරණයේ ලැබුණු මේ ප්‍රතිඵලය පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලට බලපෑමක් සිදුවෙන්නෙ නැහැ.‘‘